සමාජයේ ජීවත්වන අප මේ මනුස්ස ලෝකය තුළ කී වතාවක් උපත ලැබුවද යන්න අප දන්නේ නැහැ.තිරිසන් ලෝකයේ කී වතාවක් උපත ලැබුවද, පෙරේතයෝ වශයෙන් සසරේ කොච්චර ඉන්න ඇද්ද ඒ වගේම නිරයේ ඉන්න ඇද්ද ඒ කිසිවක් පිළිබඳ අපි දන්නේ නැහැ.මිනිස් ලෝකයේ උපත ලබන අපි සතර අපායට යලි වැටෙන ස්වභාවයෙන් යුක්ත බව අප දැන සිටියේ නැහැ.බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවල බොහොම අපුරුවට මේ දේවල් සඳහන් කරලා තියනවා. බුදුන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කිරීමේ එක ඉලක්කයක් වුයේ සත්වයා සතර අපා දුකින් නිදහස් කිරීමයි, දෙවන කාරණාව වුයේ සුගතියේ සැප ලබාදීමයි, තෙවන කාරණය වුයේ සසරේ කෙළවරක් නැතුව යන ගමන කෙටි කරවීමයි, සිව්වන කරුණ වුයේ සසර දුක ඉවත් කරදී නිර්වාණ අවබෝධය ලබා දීමයි.
නිර්වාණ අවබෝධය ලැබීමට නම් බුද්ධිමත් බව තිබිය යුතුයි.නමුත් සමාජයේ ජීවත්වන බොහෝමයක් දෙනාට බුද්ධිමත්ව සිතීමට තරම් ශක්තියක් නැහැ.ඊට හේතුව සෑම පුද්ගලයෙකුගේම සිත් කෙලෙස් වලින් පිරිලා.මිනිසුන්ගේ සිත් ආශාව, මාන්නය, තණ්හාව, පළිගැනීම, වෛර කිරීම වැනි ස්වභාවයන්ගෙන් යුක්ත වීම හේතුවෙන් ඔවුන් තුළ බුද්ධිමත්ව කල්පනා කිරීමට තරම් ශක්තියක් නැහැ. එබැවින් බුද්ධ දේශනාවන් වල නියම ප්‍රයෝජනය ගැනීමට ඔවුනට හැකියාවක් නැහැ.සෑම සත්වයෙක්ම ඉපදීමට,මේරීමට,මරණයට අයිතියි.මරණයෙන් පසු අප උපදින්නේ ප්‍රේත ලෝකයේ ද, තිරිසන් ලෝකයේ ද, මනිස් ලෝකයේ ද එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයේ ද යන්න තිරණය වන්නේ අපි කරන පින් මතයි. මනුෂ්‍ය ලෝකයේ උපත ලබන අපි අප විසින්ම අපට අවශ්‍ය දෙවල් නිර්මාණය කරගනු ලබනවා.මෙලෙස ලෝකය නිර්මාණය කර ගැනීම පිටිපස්සේ තියෙන්නේ පිනයි. පින තමයි ඊට අවශ්‍ය පරිසරයට අපව යොමු කරන්නේ.
මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අපි රේඩියෝව අහනවා, රුපවාහිනිය නරඹනවා, අපට ඕන කරන කෑම බීම වගා කර ගන්නවා, අපට කන්න අවශ්‍ය දේවල් අපි හදාගන්නවා, අපට ඕන කරන ලස්සන ඇඳුම් මහගන්නවා, යාන වහන ගන්නවා, නමුත් අපේ ගෙදර ඉන්න තිරිසන් සත්වයින්ට මේ කිසි දෙකින් ඵලක් නැහැ.නිවසේ සුරතලේට හදන බල්ලෙකුට ලයිට් වලින් ප්‍රයෝජනයක් නැහැ, රුපවාහිනියෙන් ප්‍රයෝජනයක් නැහැ, ටෙලිෆොන් අවශ්‍ය නැහැ, ඇඳුම් අවශ්‍ය නැහැ, බල්ලට ඕන කෑම ඉල්ලලා කන්න බැහැ. මනුස්සයෙක් හැටියට අප විදින සැපයන් එකක්වත් ඒ සතාට විදින්න බැහැ.ඊට හේතුව ඒ සතාට පිනක් නැතිකමයි. අපි කතාවටත් කියනවා “පින තියෙන්න ඕනි” කියලා. අපි සැප විදින්නේ පින නිසා.හැබැයි මේ සැප පිටි පස්සේ තියන පින හඳුනාගන්න මනුෂ්‍යයා අසමත් වෙලා තියනවා.මිනිසුන් වන අපට මනුෂ්‍ය ලෝකයේ දී පිනෙන් ලද සැපය පමණක් නොව දුකක් ඇද්ද එම දුකද විදින්නට සිද්ද වෙනවා.
මනුෂ්‍යය ලෝකයට අපව ගෙනාවේ පින විසින්. මනුෂ්‍යය ලෝකයේ දී අපට සැප ලබන්න උදව් කරන්නේ මේ පිනයි. පින තියෙන කෙනාගේ ඒ පින පාවිච්චි වෙන විදිහ අපට හොයන්න බැහැ.පින් දහම් රැස්කරගන්න කෙනාගේ ජීවිතයට ඒ පින විපාක දෙන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළින් පෙන්නලා තියනවා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් බොහෝ සේ සිල් ගුණ දහම් සපුරමින් ජිවත් වුනා.මොවුන් මිතුරන් වුවා.එක් භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාතේ යමින් ගිලන් වු භික්ෂුන් වහන්සේලාට දානය ලබා දුන්නා.ඒ වගේම පින්ඩපාතය ගොස් දානය නොලැබුන භික්ෂුන්ට දානය ලබාදුන්නා. එසෙ ලබාදී තමා දුන් දානයන් සිහිකරමින් සතුටුවෙමින් විදර්ශන වැඩුවා.අනෙක් භික්ෂුව විදර්ශනා පමණක් වැඩුවා. පින් කළේ නැහැ.මොවුන් දෙදෙනා මරණින් මතු දිව්‍ය ලෝකයේ උපත ලැබුවා.දානමනාදි පින්කම් කළ භික්ෂුව සැප සම්පත් බහුල මහේශාඛ්‍ය දෙවතාවක්ව උපත ලැබුවා.අනෙක් භිකෂුව අල්පේශාඛ්‍ය දෙවතාවක්ව උපත ලැබුවා. පසුව මොවුන් දෙදෙනා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ කොසොල් රජතුමාගේ මාළිගාවේ උපත ලැබුවා. පින් රැස් කළ භික්ෂුව කොසොල් රජතුමාගේ බිසවකට දාව රාජ කුමාරයෙක් ලෙසත් අනෙක් භික්ෂුව දාසියකට දාව දරුවෙකු ලෙසත් උපත ලැබුවා.
එසේ නම් පිනෙහි ස්වභාවය අනුව සැපයේ ස්වභාවයද වෙනස් වෙනවා. පෙර පින් කෙතරම් බලවත්ද? දෙව් ලොව වේවා මනු ලොව වේවා යම් පුද්ගලයෙක් සැපක් විදිනවා නම් එම සැපයට පසුබිම පිනයි. ඒ වගේම රාජ්ජුමාලා නම් දාසියද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ යමින් බොහෝ සේ පින්දහම් කර මරණින් මතු තව්තිසා දෙව්ලොව බොහෝ සැප සම්පත් ඇති දේවතාවක්ව උපත ලැබුවා. දිනක් මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා දෙව්ලොව චාරිකාවේ වැඩියා. බොහෝ සැප සම්පත් විදින මේ දෙව්දුව දැක ඈ අසලට වැඩි උන්වහන්සේ “පින්වත් දෙව්දුව, මේ සොදුරු රූපය ඔබට ලැබුනේ මොන වගේ කර්ම විපාකයක් ලෙසද? ” යනුවෙන් ඇසුවා. එවිට දෙව්දුව “පින්වත් ස්වාමින් වහන්ස මම සරණ ගිය ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසයි මේ හැමදෙයක්ම. ,මම ඉන්නේ සතුටින් ,කෙළි සෙල්ලම් කරනවා, ප්‍රිති වෙනවා, සතර අපා බයක් නැහැ, දිව්‍ය මල් මාලා දරනවා, මේ දිව්‍ය විමානය පින් නොකළ අයට ලැබෙන්නේ නැහැ,පින් කළ උදවියටමයි සිත්කළු තව්තිසාවේ නන්දන වනය ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලොව හෝ පරලොව සැපයක් ලැබෙන්නේ නැහැ.මෙලොව පරලොව දෙකෙම සැප ලැබෙන්නේ පින් කළ උදවියටමයි.” එසේ නම් මේ පින කෙතරම් බලවත් යන්න පැහැදිළි වෙනවා.
මෙහෙම කියන කොට ගොඩක් අයට හිතෙයි දානමනාදි පින්කම් කරන්න කෝ අපට මුදල් කියලා.බුදුරජාණන් වහන්සේ ධර්මය තිබෙන්නේ ධනවතුන් පිණිසවත්, දිළින්දන් පිණිසවත් නොවේ.උන්වහන්සේගේ ධර්මය තිබෙන්නේ නුවණ මෙහෙයවන්නනුන් උදෙසා. එනම් ප්‍රඥාවන්ත කෙනාටයි. බුදුරාජාණන් වහන්සේ දේශනා කළේ “ප්‍රඤ්ඤාවන්තස්සායං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස ” “මාගේ මේ ධර්මය තිබෙන්නේ නුවණ මෙහෙයවන කෙනාටයි. නුවණ මෙහෙයවන්නේ නැති කෙනාට නෙවේ ” ඉතින් මේ නිසා මෙහිදි සල්ලි වියදම් කරලා නෙමෙයි මේ පින් රැස් වෙන්නේ.බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “මලක් සිඹින වෙලාවක් මෙත් සිත වඩන්න.” යනුවෙනි. මෙහිදි භාවනාව වැඩිම නිසා විශේෂයෙන් ලද හැකි ආනිසංස එකොළහක් පිළිබඳ බුදුරාජාණන් වහන්සේ දේශනාකරලා තියනවා. ඒ වගේම උන්වහන්සේ “පින්වත් මහණෙනි, යමෙක් උදැසනත් දහවලත් සවසත් බත් හැළි සියය බැගින් දන් දෙන්නේ ද යමෙක් උදේ සවස ගව දෙනකගේ තන පුඩුවෙන් කිරි දොවන තරම් සුළු කාලයක් මෛත්‍රී භාවනාව වඩන්නේ ද ඒ මෛත්‍රී භාවනාමය පින ඉහත බත් හැළි සියය බැඟින් දන්දී ලැබෙන පිනට වඩා මහත් ඵලද මහානිසංසද වන්නේය” යනුවෙන් දේශනා කරලා තියනවා. එසේ නම් පින් කිරීමට මුදල ප්‍රශ්නයක් වන්නේ නැහැ.
ඒ වගේම පින් අනුමෝදන් කිරීමත් පිනක් ලෙයසි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. උන්වහන්සේ පින් කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තුනක් පුඤ්ඤකිරිය චත්ථු නැමැති බුද්ධ දේශනාවේ පෙන්වා දුන්නා.එනම් දානමය වශයෙන්, සීලමය වශයෙන් හා භාවනාමය වශයෙනි. පින අතරින් අග්‍ර වන්නේ භාවානමය පිනයි. බුදුරජාණන් වහන්සේ භාවනාමය පුණ්‍ය කියාව හැටියට බොහෝ විට පෙන්වා දුන්නේ මෛත්‍රී භාවනාවයි. උන්වහන්සේ දේශනා කළා. “පින්වත් මහණෙනි මම බෝධි සත්ව අවධියේ දී සත් වර්ෂයක් මෛත්‍රී භාවනාව වඩලා ඒ හේතුවෙන් සංවට්ට විවට්ට කල්ප හතක් මිනිස් ලෝකයට පැමිණෙන් නැතුව දෙව්ලොවින් බඹලොවට, බඹලොවින් දෙව්ලොවට ආදි වශයෙන් සුගතියේ ඉපිද බොහෝ සැප වින්දා” කියලා. භාවානමය පුණ්‍ය ක්‍රියාවේ විපාක එයයි. පින් කියන දෙවල් හිතෙන් කරන්න පුළුවන්. පින් කරන්න සල්ලි අවශ්‍ය නැහැ. පින පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති බොහෝ මිනිසුන්“අනේ අපට පින් කරන්න කොහෙද සල්ලී, පින් කරන්න සල්ලි ඔනනේ” යන අකල්ප තුළ ජිවත් වෙනවා.ඒ අනුව ධර්මය තිබෙනුනේ නුවණැත්තාටම බව පැහැදිළි වෙනවා.
පින කියන වචනය ලොවට ඉදිරිපත් කළේ අපගේ භාග්‍යයවත් බුදුරජාණන් වහන්සේ. ඒක අපි සෝයා ගත් දෙයක් නොවෙයි. සමාජයේ ජිවත්වන බොහෝදෙනා “ අනේ අපට පිං කරන්න ඕන නෑ” යනාදි අහංකාර හිස් වචන කියන්න පෙළඹිලා ඉන්නවා.ඔවුන් ඒ විදිහට කතා කරන්නේ පින ගැන නියම අර්ථය නොදැනයි. බුදුරජාණන් වහන්සේ පින ගැන බුද්ධ දේශනාවල පුදුමාකාර විදිහට අවබෝධ කළා. උන්වහන්සේ දේශනා කළේ “අප මෙලොව ජිවිතය අත්හරින කොට පින විසින් අප උදෙසා යහපත් ජිවිතයක් සකස් කරලා” තිබෙන බවයි.” බුදුරජාණන් වහන්සේ තවත් වරෙක දේශනා කරලා තියනවා.“මහණෙනි පින කියන්නේ සැපයට කියන නමක්, යහපත් දේට කියන නමක්, පියමනාප දේට කියන නමක්, සුන්දර දේට කියන නමක්” යනුවෙන්.
ඒ වගේම උන්වහන්සේ පින් යැයි සම්මත නමුත් පින් නොවන දානයන් 5ක් බැහැර කරලා තියනවා. එනම් මත් පැන් දන්දීම, නැටුම් දන්දීම, ස්ත්‍රීන් දන්දීම, වෘෂභයින් දන්දීම හා අසාභ්‍ය චිත්‍ර දන්දීම ආදියයි. ඒ වගේම මිනිසුන් වන අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරන්න ලැබෙන්නේ පිනකින්, ඒ අහපු ධර්මය මතක තබා ගන්න පිනක් තියෙන්න ඕන. මතක තබාගත් ධර්මය නුවණින් විමසන්න පින අවශ්‍යයි. ඒ ධර්මය තේරුම් ගන්නත් නුවණින් තෙරුම් අරන් ධර්මයට අනුව ජිවත් වෙන්නත් පින අවශ්‍යයි. බලන්න පින අපේ ජිවිතයට කෙතරම් වටිනවාද...? එසේ නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවන මේ උතුම් පොහොදින පැන් බින්දුව බින්දුව පිරී කලය පිරෙන්නා සේ ජීවිතයට කුඩා කුඩා හෝ පින් රැස් කරගනිමින් ධර්මානුකුල ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි.
No comments:
Post a Comment