Friday, June 30, 2017

කෙස් ගසකින් කමටහනක්

ලස්සනයි සිනිදුයි කියලා කොයි තරම් ආඩම්බරයක් ගෙන දුන්නා වුණත් නඩත්තු කිරිම අතපසු වුණ හැටියේ මේ කෙස් ගද ගහනවා.පිළිකුල් සහගත උකුණන්ට මේ කෙස් වාසස්ථානයක්. මොන තරම් සුන්දරව තිබුණත් මේ කෙස්වල අප්‍රිය ස්වභාවයන් ඉවත් වන්නේ නැහැ. කෙස් කැබැල්ලක් ආහාර පානවල තිබුණත් අපට ඒ ආහාර පානය පවා පිළිකුල උපදවන ස්වභාවයෙන් යුක්තයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

 



ඉස්සර මගේ කොණ්ඬේ කළු පාටයි. බඹරුන්ගේ පාට වගේ.
 කැරලි ගැහිලා උඩට හැරිලා තිබුණා.
ඒ උණාට දැන් ජරාවට පත් වෙලා ගිහින් හණ වැහැරි වගෙයි.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
 
 
ඉස්සර මං කොණ්ඬේට සුවඳ මල් ගහනවා.
එතකොට කොණ්ඬේ සුවද කරඬුවක් වගෙයි.
 ඒ වුණාට  දැන් ජරාවෙන් යටවෙලා ගිහින් හා ලොම් වගේ ගඳ ගහනවා.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
 
 
ලස්සනට, පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඬේ පීරනවා.
අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා.
 නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නේ.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
 
 
කළු කෙස් වැටිය ගොතලා රත්තරන් ආභරණ වලින් සරසපුවාම හරිම ලස්සනයි.
නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාල තියෙන්නේ.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.


(අම්බපාලි රහත් මෙහෙණිය වදාළ ථේර ගාථා)



බුදුසමය තුළ කාන්තාවට හිමිතැන


බෞද්ධ චින්තනය තුළ කාන්තාව මවක්, බිරිදක්, ගෘහණියක්, උපාසිකාවක්, භික්ෂූණියක්, දියණියක්, වශයෙන් වරප්‍රසාද ලබා තිබේ. බුදුසමය මව් පදවිය අගය කරයි. “ ගෙදර බුදුන් අම්මා ” “බුදුන් වදින ලෙස වැදපන් අම්මට” “දස මසේ උරේ කත්වා ” යන ප්‍රකාශ ගොඩ නැගුනේ බුදුසමය පදනම් කරගෙනයි. “ මාතු පෝසක” ජාතක කතාවේ මවගේ වචනය අගය කරයි. මවත්, පුතත් මුහුදු යාත්‍රාවකින් සාගරය තරනය කරන විට යාත්‍රාව දියබත් වු බැවින් පුතා මව කරේ තබාගෙන ගොඩබිමට පිහිනයි. මෙහිදි මව “පුතේ නුඹ බුදුවෙයන් ” යනුවෙන් ආශිර්වාද කරයි. මේ නිසා මවගේ වචනය මුල් කරගෙන බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වුවා යැයි බෞද්ධයෝ විශ්වාස කරයි.බුදුරජාණන් වහන්සේ ද මව්පදවිය ඇගයිමට ලක්කර ඇත.


 

 උන්වහන්සේ හත්වන වස්කාලය ගත කිරීම සඳහා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කරන්නේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය ඇසුරෙන් දහම් දේශනාකොට ධර්මාවබෝධය ලබාදීම පිණිසයි. මහ ප්‍රජාපති ගෝතමි දේවිය පිරිනිවන් පෑමට පෙර ඊට අවසර ලබාගෙන ආපසු යන විට බුදුරදුන් ඇය පසු පසින් ටික දුරක් ගමන් කරයි. එපමණක් නොවෙයි ඇය පිරිණිවන් පෑ පසුව ඇයගේ දේහය රැගෙන යන විටද බුදුරදුන් ඇය පසු පසින් ගමන් කළේ මව් පදවියට ගෞවරව කළ බැවිනි.
 
 
බුදුසමය උගන්වන්නේ “මාතෘ පිතෘ උපට්ඨානා” පියාට මෙන්ම මවටද සැලකීම මංගල කරුණක් බව මහ මංගල සුත්‍රයේ පෙන්වා දෙයි. බුදුසමය තුළ කාන්තාව බිරිදක් ගෘහණියක් ලෙසද අයිතින් දිනාගෙන තිබේ. සිඟාලෝවාද සුත්‍රයේ ස්වාමියාගෙන් බිරිදට ඉටුවිය යුතුකම් පහක් සඳහන් කරමින් බිරිදක් වශයෙන් පමණක් නොව ගෘහණියක් වශයෙන් ද ඇයගේ අයිතින් රැක දී තිබේ.  බුදුරදුන් වරෙක දේශනා කරන්නේ “භාර්යෝ පරමෝසඛා” බිරිද සැමියාගේ පරම මිතුරා බවයි. එමෙන්ම බුදුසමය හේතුවෙන් කාන්තාවන් උපාසිකාවක් වශයෙන් ද වරප්‍රසාද දිනා ඇත. විශාකා උපාසිකාව, චුජ්ජුත්තරා, සමාවති, රජ්ජුමාලා, පුණ්ණා උපාසිකාවන් බවට පත් වුයේ බුදු සමය නිසාවෙනි.

Thursday, June 29, 2017

මෙලොව සැප හා පරලොව සැප


ලෝකයෙහි ජිවත් වන සෑම මනුෂ්‍යයයෙක්ම සැප කැමැත්තෝ වෙති. විශේෂයෙන් අන් සත්වයන්ට වඩා මිනිසා සැපයට ඇලුම්කම් දක්වති. මිනිසාගත් කල ඉගෙන ගන්නේ, රැකියා කරන්නේ , නිවාස යාන වාහන ගන්නෙත්, විවාහා වන්නෙත් සැප බලාපොරොත්තුවෙනි. ඒ අතර බුදුන් වහන්සේ මෙලොව සැප හා පරලොව සැප යනුවෙන් සැපයෙහි ප්‍රභේද දෙකක් පෙන්වා දී ඇත. දිඝජානු කෝලිය පුත්‍රයා බුදුරදුන් වෙතට පැමිණ පවසන්නේ කාමභෝගින් වන අපගේ මෙලොව පරලොව හිත පිණිස වන දහමක් දේශනා කරන්න යනුවෙනි. එහිදි බුදුරදුන් මෙලොව හිත පිණිස  හේතුවන සම්පත්ති හතරක් ඇතුළත් කරමින් ව්‍යග්ගපජ්ජ සුත්‍රය දේශනා කරන ලදී. එහි මෙලොව සැපයට හේතුවන කරුණු 4ක් දැක්වේ.

1 උට්ඨන සම්පදා
2 ආරක්ඛ සම්පදා
3 කල්‍යාන මිත්තතා
4 සමජීවකතා

   












උට්ඨන සම්පදා යනු නැගී සිටි වීර්යෙන් දෑත දෙපය සොලවා දහඩිය වඟුරුවා ශ්‍රමය වැය කොට ධනය ඉපැයීමයි. ආරක්ඛ සම්පදා යනු එසේ උපයාගත් ධනය ගින්නෙන්, ජලයෙන් , රජුන්ගෙන් , සොරුන්ගෙන් යන චතුර්විධ උපද්‍රව වලින් රැක ගැනීමයි. කල්යාන මිත්තතා යනු උපකාරක , සමාන සුඛ දුක්ඛ , අත්තක්කායි , අනුකම්පක යන යහපත් කල්‍යාන මිත්‍ර ඇසුරයි. පාප මිතුරන් ඇසුරු කිරීම දුක් විපාක විදිමට සිදුවන්නකි. සමජීවකතා යනු අය වැය සමව දැන දනය පරිහරණය කිරිමයි. මේ කරුණු 04 මෙලොව සැප ලැබීමට හේතු වේ. පරලොව සැප පිණිස හේතුවන කරුණු 4කි. එවානම්

1 සද්ධා සම්පදා
2 සීල සම්පදා
3 ත්‍යාග සම්පදා
4 පඤ්ඤා සම්පදා
 යනු ඒ සම්පත්ති 4 යි. තුනුරුවන් කෙරෙහි ඇති අවබෝධය පදනම් කරගත් පැහැදිම සද්ධා සම්පදාවයි. කය වචනය දෙකේ සංවරය සීල සම්පදාවයි. මසුරු බවින් තොර පරිත්‍යාගශීලි බව ත්‍යාග සම්පදාවයි. පඤ්ඤා සම්පදා යනු නුවණින් යුක්ත වීමයි. මේ සම්පත්ති 4 පරලොව සැප ලැබීමට හේතුවේ.

බුදු සමය සෞන්දාර්ය හා රසාස්වාදය අගය කළ අයුරු


ජීවිතය අනිත්‍යය සසර දුක් සහිතය සියල්ල ශ්‍රනයක් ශ්‍රනයක් පාසා වෙනස් වේ. ශරීරය කුණු ගොඩක් දෙතිස් කුණු වලින් එය පිරී පවති. අනිත්‍ය සෑම දෙයක්ම දුක ගෙනදේ. කුමන සිනහාවක් ද කුමන සතුටක්ද ලෝකය කෙලෙස් ගින්නෙන් දැවෙමින් පවති. මෙබදු ඉගැන්විම් සිදුකරන බුදු සමයට සෞන්දාර්ය පිළිබඳ කතා කිරීමට අයිතියක් නැතැයිද බුදු සමය සෞන්දාර්ය විරෝධි දහමකැයිද ලෝකයෙහි ඇතැම් උගතුන් ප්‍රකාශ කරයි. එහෙත් බුදුදහම ගැඹුරින් හදාරා බලන කල්හි බුදු සමය තරම් සෞන්දාර්ය අගය කරන සෞන්දාර්ය වර්ණනා කරන සුන්දරත්වය දකින අන් දහමක් තවත් තිබේද යන ප්‍රශ්නය මතු වේ. අනිත්‍ය බව දුක් සහගත බව ලෝක යථාර්තයයි. බුදු කෙනෙකු පහළ නොවුවද ඒ යථාර්තය එලෙසින්ම ක්‍රියාත්මක වේ. උන්වහන්සේ සිදුකළේ එය පෙන්වාදීම පමණයි.  ඒ අනුව බුදු සමය සෞන්දාර්ය නොතකන දහමකැයි කිව නොහැක.
 
 
බුදුරජාණන් වහන්සේ සෞන්දාර්ය කලා රසාස්වාදය විදගත් අයුරු සඳහන් කිරීමේ දී තතාගතයන් වහන්සේ උපත ලැබුවේ, බුද්ධත්වයට පත් වුනේ, වැඩි කාලයක් ගත කළෙත් , පරිනිර්වාණයට පත් වුවෙත් සුන්දර වනාන්තර තුළයි.රමණිය උද්‍යාන තුළයි. අරිය පරියේසන සුත්‍රයේ බුදුරදුන් භාවනා කිරීමට තෝරාගත් ප්‍රදේශයේ සුන්දරත්වය මෙසේ වර්ණනා කරයි. “ මේ භුමී භාගය ඉතාමත් රමණියයි. වන ලැහැබද ප්‍රසාද ජනකයි. මනාතොටු ඇති සුදු වැලිතලා මැදින් ගලනා ජලය සිත් සනසන සුළුයි. හාත්පස ගොදුරු ගමකි. ප්‍රධාන වීර්ය වඩන කුල පුත්‍රය මීට වඩා සුදුසු අන් තැනක් නොමැති තරම්ය.  මහ පරිනිබ්බාන සුත්‍රයේ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ සිත්ගත් රමණීය ස්ථාන ආනන්ද තෙරුණ්ට පවසයි. “ ආනන්ද විශාලා මහනුවර රමණියයි. සබ්තත්තක චේතිය රමණියයි. මකුල පර්වතය රමණියයි.” එයින් ද පෙනෙන්නේ බුදුරදුන් සුන්දර ප්‍රදේශයන්ට කැමැත්ත දැක් වු බවය.

 
 











සක්කපඤ්හ සුත්‍රයට අනුව සක්දෙවියන්ට බුදුරදුන් හමුවට යාමට අවශ්‍ය වු බැවින් ඊට අවශ්‍ය වු බැවින් ඊට සුදුසු පරිසරයක් මැවීම පිණිස සක්දෙවියන් තම වීණා වාදකයා වු පංචසිඛ බුදුරදුන් වෙතට එවයි. ඔහු ඉන්ද්‍රසාල ගුහාව අසලට පැමිණ බුදුරදුන්ට ඇසෙන තෙක් මානයේ සිට සුරිය වච්චසාගේ රූපකාය වර්ණනා කරමින් ගීතයක් ගයමින් වීනාව වාදනය කරයි. එය අසා සිටි බුදුරදුන් අවසානයේ පංචසිඛට පවසන්නේ “ පංචසිඛ මම නුබේ ගායනය සහ වාදනය සසදා බැලුවෙමී. ගායනය ඉක්මවා වාදනය නොයයි. වාදනය ඉක්මවා ගායනය නොයයි. යනුවෙනි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සෞන්දාර්ය විදගත් අයුරු පැහැදිළි වේ. බුදුරජාණන් වහන්සේද සෞන්දාර්ය ඇලුම් කළ සැබැ සුන්දරත්වය සැබැ ඇසකින් දුටු සෞන්දාර්ය කාමියෙකු බව පැහැදිළි වේ.

Thursday, June 22, 2017

අනුරාධපුර යුගයේ ප්‍රතිමා ශිල්පයේ නිරුපිත සම්ප්‍රදායන්


    ශී ලංකාවේ කලා නිර්මාණ කෙරෙහි විවිධ කලා සම්ප්‍රදායන්ගේ ආභාශය ලැබි ඇති අයුරු මෙරට ඉතිහාසය විමසා බැලිමේදි පැහැදිළි වේඅනුරාධපුර යුගයේ ප්‍රතිමා කලාව පිළිබඳ තොරතුරු ගවේශනයට ප්‍රථම විවිධ ප්‍රතිමා නිර්මාණයන් සඳහා පාදක වුණු සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් ලබා තිබිම වැදගත් වේඑලෙස අවබෝධ කර ගැනිම තුලින් එකි අනුරාධපුර යුගයේ ප්‍රතිමාවන් පිළිබඳ වඩා පුලුල් දෘෂ්ටියකින් හැදැරිමට අවකාශය සැලසේඅනුරාධපුර යුගයේ ප්‍රතිමා ශිල්පයේ නිරුප’ත සම්ප්‍රදායන් අතර,
 

■ ගාන්ධාර සම්ප්‍රදාය
■ මතුරා සම්ප්‍රදාය
■ අමරාවති සම්ප්‍රදාය
■ ගුප්ත සම්ප්‍රදාය
■ පල්ලව සම්ප්‍රදාය
■ විජයනග්ර සම්ප්‍රදාය       

              යන සම්ප්‍රදායන් දක්නට ලැබේ
                    

                      ඒ අතර ගාන්ධාර සම්ප්‍රදායන් මුල් තැනක් ද’ විමසා බැලිය හැක ක්‍රිව1-5 දක්වා සියවස් අතර පැවතුණු මේ සඳහා ග’්‍රක ආභාශයද (විදේශිය ආභාශයද ) ලැබි ඇතමේ නිසා ග්‍රික බෞද්ධ සම්ප්‍රදාය නමින්ද හැදින්වේමුලින්ම ගන්ධාර ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා නෙලිම ආරම්භ වුවා යැයි පැවසේ මේ බුද්ධ පතිමා වලින් බොහෝ දූරට ස්වාභාවික මනුෂ්‍ය ලක්ෂණ පිළිබිඔු කර ඇතඅජන්තා, බුද්ධගයා හා තාරුත් ආදි චිත්‍ර ගාන්ධාර සම්ප්‍රදායට අයත් වේ
            
                  
 ක්‍රිව 1-2 දක්වා කාල සිමාව තුල සිමාව තුළ මතුරා සමිප්‍රදාය පැවතුනිමිට ජෛන ආගමෙහි ආභාශය ලැබි ඇතමතුරා සමිප්‍රදාය තුල දේශිය ලක්ෂණ ගැබිව ඇතමතුරා ප්‍රතිමා වලින් බුදූරාජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතය මුර්තිමත් කර ඇත.ගුප්ත සමිප්‍රදාය විකාශනය වුයේද මතුරා සමිප්‍රදායෙනි වටකුරු මුහුණ, තරබරු පෙනුම යොදා ඇතඌ්රණ රෝම ධාතුවද එහි පිහිටා ඇතඇගට ඇලි තිබෙන සිවුරු මතුරා ප්‍රදේශයේ ප්‍රතිමාවල ලක්ෂණ වෙයි.
             
                 
 
ලංකාවේ අවුකන ,තොලුවීල ආදි ප්‍රතිමා අයත් අමරාවති සම්ප්‍රදාය ක්‍රි.ව 2-4 අතර සියවස් කාලවල පැවතිණි.ලංකාවේ මුලින් සෑදූ බුද්ධ ප්‍රතිමා සඳහා අභාශය ලැබුනේ අමරාවති සම්ප්‍රදායෙන් යැයි පැවසේ බොහෝවිට කිරිගරුඩගල් මේ සඳහා භාවිතා කර ඇතපටු දිගටි හිස, බෙලිකටු හැඩයේ කෙස් කැරළි, පිරුණු සිරුර, ක්‍රමවත්ව ඇතුළට නෙරාගිය සිවුරු රැල්ල, මෙන්ම යට අදනය පෙන්වා ඇතපැතලි බව, කැළඔුන බව අංග චලනය පෙන්වයි.
            
                   
භාරතිය චන්ද්‍රගුප්ත රාජ්‍ය සමයේ පටන් ඇරඹි ගුප්ත සම්ප්‍රදාය ක්‍රි.ව 4-6 දක්වා කාලයට අයත් වේ.මෙය මහායාන කලාවට සම්බන්ධය බොහෝදූරට කැටයම් සඳහා කලුගල් භාව’තා කර ඇතඉන්දියාවේ ප්‍රතිමා කලාවේ උසස්ම අවස්ථාව ලෙස ගුප්ත සම්ප්‍රදාය සැලකේ මුහුණෙහි මඳ සිනහව, අධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය, අඩවන් වු දෙනෙත්, ඇගට ඇලුනු සිවුර මෙම ප්‍රතිමාවල දක්නට ලැබේ මතුරා සම්ප්‍රදාය තුළින් ගුප්ත සම්ප්‍රදාය බිහි වු බව පැවසේඉන්දියාවේ අජන්තා චිත්‍ර, සරනත් බුද්ධ ප්‍රතිමාව, සමාධි බුද්ධ ප්‍රතිමාව, ඉසුරුමුණියේ පෙම් යුවල, බිසෝ මාළිගේ සදකඩ පහණ තුළින් අදටත් මෙම සම්ප්‍රදාය පිළිඹීබු වේ.
           
                
 බෞද්ධ ආගමට එතරම් සබදතාවක්  නොදක්වන සම්ප්‍රදායක් ලෙස පල්ලව සම්ප්‍රදාය පෙන්වා දිය හැක ක්‍රි.ව 7 සියවස පමණ මෙය ආරම්භ වේ.හින්දූ ආගමට වැඩි නැඔුරුවක් දැක්වීම පෙන්නුම් කෙරේ හිටි බුද්ධ ප්‍රතිමාවල රැස් වලල්ල පල්ලව ලක්ෂණයකිඑත් රූප ප්‍රතාපවත් මෙන්ම විශාලය ජලාශවල ගල් ඉවුරුද  කැටයම් සඳහා යොදා ගනි.(ඉසුරුමුණිය ) ගොපුර කැටයම් සහිත්‍ය, ඉන්දියාවේ ඇලිපන්ටි, එල්ලෝරා ලෙන්වල කැටයම් ද, ලංකාවේ ඉසුරුමුණි ඇත් කැටයම, අශ්ව හිස සහා මිනිසා, නාලන්දා ගෙඩි ගෙය යනාදිය පල්ලව සම්ප්‍රදායට අයත් වේ.
             
                 
 බෞද්ධාගමට එතරම් සම්බන්ධතාවක් නොදක්වන තවත් සම්ප්‍රදායක් ලෙස විජයනග්ර සම්ප්‍රදාය පෙන්වාදිය හැකිය. ක්‍රි.ව 16 සියවස මෙහි දියුණුම අවස්ථාවයි.මෙයට පල්ලව සම්ප්‍රදායේ ලක්ෂණයන් ද එකතු වි ඇත.කුලුණු සහිත මණ්ඩපය මෙහි විශේෂ ලක්ෂණයකී.කොවිලට මගුල් මඩුවක්  ද එකතු කරයි.දෙපසින් සිට පනින අශ්ව රූප ද මෙහි විශේෂ ලක්ෂණයකි ගඩලාදේණිය විහාරය විජයනග්ර සම්ප්‍රදායට අයත් වේ.

කඨීන පුජා පිංකම


මෙය භික්ෂුන් වහන්සේ වැඩවසන විහාරයක අවුරුදු පතා කෙරෙන විශේෂ පිංකමකි. වස් අවසානයේ දී සංඝ රත්නයට පුජා කරන චීවරය, කඨීන චීවරය නමින් හැදින්වේ.වර්ෂයකට එක් වරක් පමණක් සිදු කෙරෙන දුර්ලභ පිංකමක් බැවින් මෙය ඉතා උසස් පිංකමක් ලෙස සලකනු ලබයි.වර්ෂාව වැඩිපුර බල පවත්වන ජුලි සිට නොවැම්බර් දක්වා කාලය වස්සාන සමයයි. ආරාමයක වසන භික්ෂුන් වහන්සේට වස් විසීමට ආරාධනය කරනු ලබන්නේ දායකයන් විසිනි.

 

 මේ කාලය තුළ දී දිනපතා උන්වහන්සේට දානමානාදියෙන් උවැටැන් කිරීමට දායකයෝ එක්ව වැඩ පිළිවෙළක් සකස් කරති. බොහෝවිට කෙරෙන්නේ එක් එක් දිනයේ හීල් දානය, දවල් දානය එක්ව හා ගිලන් පස එක් එක් දායක පවුල් විසින් භාරගෙන වස් විසු ස්වාමින් වහන්සේට ඉතා සැලකිල්ලෙන් උවටැන් කිරීමයි. මේ දාන හැදින්වෙන්නේ වස්දාන නමිනි. භික්ෂුන් වහන්සේ බණ භාවනා කරමින් මේ කාලය ගත කරන අතර තමන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියන් සඳහා බුද්ධ පුජා හා ධර්මදේශනා පැවැත්වීමෙන් සංග්‍රහ කරති.
 
 
වස් අවසානයේ දී චීවරය සඳහා යොදා ගන්නා කඨීන වස්ත්‍රය දායකයෙකුගේ නිවසේ සිට අලුයම් කාලයේ පෙරහරින් වැඩමවා ගෙනැවිත් මහා සංඝයාට පවරනු ලැබේ. කඨීන සිවුර වැඩමවන පෙරහැර කඨීන පෙරහැර නමින් හැඳින්වේ. භික්ෂුන් වහන්සේ විසින් චීවරය සඳහා ලැබෙන රෙදිකඩ සිවුරකට අවශ්‍ය අන්දමින් කපා, මසා පඩු පොවනු ලැබේ. මහා සංඝයා විෂයයෙහි පවත්වනු ලබන දක්ෂිණාවක දී කඨීන සිවුර සංඝිකව මහා සංඝයාට පුජා කරනු ලැබේ.එය වස් සමාදන් වු ස්වාමින් වහන්සේ නමකට පිරිනමන්නේ මහා සංඝයා විසිනි. කඨීන සිවුර ලැබෙන ස්වාමින් වහන්සේ විසින් එම සිවුර පොරවා කඨීනානිශංස යන මැයෙන් එදින රාත්‍රීයේ ධර්ම දේශනාවක් පැවැත්වීමද සිරිතක් වේ.   

Wednesday, June 21, 2017

සඳකඩ පහණ


මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය ශ්‍රී ලංකාවේ නවෝදයකට මං පෙත් හෙළි පෙහෙළි කළ ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියකට මඟ පැදු අති විශිෂ්ට සංස්ද්ධිය ලෙස සැලකිය යුතුය. මිහිදු මාහිමියන්ගේ පැමිණිමත්, අනතුරුව එතුමාගේ සොහොයුරිය වු සංඝමිත්තාවන්ගේ පැමිණිමත් යන ඓතිහාසික සිදුවිම් ඇසුරෙන් අප රටේ නව සංස්කෘතියක් ගොඩ නැගුණු බව රහසක් නොවේ.

අක්ෂර මලාව, සාහිත්‍ය කලාව, චිත්‍ර, මුර්ති, කැටයම්, ආදී විවිධ කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය යනාදී නොයෙක් කලාවන්ගේ පහළවීමටත් , මහින්ද- සංඝමිත්තා යන භික්ෂු භික්ෂුණින්ගේ සම්ප්‍රාප්තිය බෙහෙවින් හේතු විය. විශේෂයෙන් සංඝමිත්තාවන්ගේ ආගමනයත් සමඟ කුල දහ අටක කලාකරුවන්ගේ පැමිණිම සිදුවු බවක් ඓතිහාසික සාධකවලින් අනාවරණය වේ. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමා ආදී විවිධ නිර්මාණයන් අප රටේ දී අප රටට ආවේණික ආකාරයට නිර්මාණය කිරීමට අපේ කලාකරුවෝ සමත් වුහ. ඉන්දියානු කලාකරුවන්ගේ ආභාසය ලැබුවද අපේ කලාකරුවෝ දේශිය අනන්‍යතාව රැකෙන අයුරින් සිය කලා නිර්මාණ ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූහ. මේ නිර්මාණයන් අතරින් අතිශයින් සුවිශේෂ නිර්මාණයක් ලෙස සඳකඩ පහණ හඳූන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් සඳකඩ පහණ ස්ථාපිත වුයේ බුදු මැදුරට පිවිසෙන පඩි පෙළක අවසාන පඩියේය. බුදු මැදුරට පිවිසෙන අයට උදාවන ප්‍රතිලාභය සනිටුහන් කරවමින් පැරණි කලාකරුවෝ සඳකඩ පහණ නිර්මාණ කළහ. භාරතයේද සඳකඩ පහණ දක්නට ලැබෙන නමුත් ලංකාවේ සඳකඩ පහණ තරම් නිර්මාණශීලි බවක් පිළිඹිබු වන හරබර අදහසක් ලෝකයට පවසන සඳකඩ පහණ භරතයේ දක්නට නැත.
 

 
අනුරාධපුර බිසෝ මාලිගාව ආශ්‍රීතව පිහිටා ඇති බුදු මැදුරට පිවිසෙන ස්ථානයක පිහිටුවා ඇති මෙම සඳකඩ පහණ උසස් ගණයේ අති විශිෂ්ට නිර්මාණයක් ලෙස කවුරුත් සලකති. එහි විවිධ රූ සටහන් වලින් බුදු දහමෙන් ලැබිය හැකි උතුම් ප්‍රතිලාභ සංකේතවත් ලෙස ඉදිරිපත් කරයි. මේ පිළිබඳ දේශීය හා විදේශිය පුරා විද්‍යාඥා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති මතය සාධාරණ වුත් අර්ථවත් වුත් නිගමනය ලෙස පිළිගත හැකිය. සඳකඩ පහණ ගලින් නිර්මාණය වු අඩ සදකම් ආකාරයට සකස් වුවකි. දැනට ඇති උසස්ම නිර්මාණය ලෙස සැලකෙන සඳකඩ පහණ ඇත්තේ අනුරාධපුරයේ මහසෙන් මැදුර ලෙස සලකන පිළිම ගෙය පාමුලය. මෙම සඳකඩ පහණේ මුලින්ම ඇත්තේ පිපුණු අර්ධ පද්මයකි. එය ලියවැලකින් මායිම්ව ඇත. ඉන් අනතුරුව එකිනෙකා පසුපස යන හස්ති, වෘෂභ,සිංහ හා අශ්ව රූප පේළියකි. අන්තිම පේළයේ කිසියම් ශෛලියක් අනුව නිමැවුණු ගිනිසිළු වැලකි. ඇතමෙක් එය පලාපෙති ලෙසත් තවත් සමහරෙක් නාග රටාවක් ලෙසත් හඳූන්වති.
 
සෑම සඳකඩ පහණකම මෙකී ලක්ෂණය ඒකාකාරිව පිහිටා ඇත. තිරියායේ සඳකඩ පහණේ දාරය ගිනිසිළුවලින් නොව සියුම් නෙළුම් පෙතිවලින් සැරසී ඇත. එහි එක් සඳකඩ පහණක ගිනිසිළු හෝ පලා පෙති හෝ දක්නට නැත. කෙසේ වුවත් සඳකඩ පහණ ආවාට ගියාට නිමැවුණු එකක් නොව අරුතක් දීමට කරන ලද්දක් ලෙස සැලකිය හැකිය. බුදු මැදුරක් අසල නිමැවුණු මෙවැනි කලා නිර්මාණයකින් ධිවනිත කරන අරුත තෝරා බේරා ගැනීමට තරම් කුසලතා පුර්ණ කලාකරුවන් අප රටේ පහළ වු නිසා එහි අරුත නිවැරදිව වටහා ගැනීමට අපට හැකි වී තිබේ.
 
 
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳකඩ පහණේ නිවැරදි සංකේතිත අර්ථය වටහා ගැනීමට සමත්වීම ජාතියේ භාග්‍යයකි. සඳකඩ පහණින් සාමය සංකේතවත් වන අතරම නෙළුම් මලින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හැදින්වු ආකාරයට ලෝකයේ ඉපිද එහි නොඇලිී, මතුවී සිටින ආකාරයත් , ලියවැල්වලින් තණ්හාවත් සංකේතවත් කැරෙන බව එතුමා පවසයි.
 
 
එකා පසුපස එකා දුවන ආකාරයට නිර්මිත සත්ව පේළියෙන් සංසාරයත් , හංස පේළියෙන් සංසාරයෙන් ගැලවී නිවන කරා යාමත් , නිවී යන ගිනිසිළුව නිවනත් සංකේතවත් කරයි. මේ ආකාරයට බුදු දහමේ ඇසුර ලබන අයට බුදු දහම අනුව ලබාගත හැකි උත්තරීතර ප්‍රතිලාභය මනා ලෙස සංකේතවත් කරමින් නිර්මාණය කොට ඇති සඳකඩ පහණ, අතිශයින් උසස් කලා කෘතියක් ලෙස නම් කළ හැකිය.
 

පන්සිය පනස් ජාතක පොත


ශ්‍රී ලංකාවේ මානව වර්ගයාගේ සංවර්ධනයට මෙන්ම භාෂා සාහිත්‍ය කලාවන්ගේ සංවර්ධනයට ඉමහත් සේනටක් ඉටු කරන පන්සිය පනස් ජාතක පොත බුදුරජාණන් වහන්සේගේ පුර්ව චාරිත කතා ලෙස සැලකේ. ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයට අයත් ඛුද්දකනිකායට ඇතුළත් ජාතක නම් කොටස හා සම්බන්ධ ජාතක පොකට ඇතුළත් වන්නේ ජාතක කතා පන්සිය හතළිස් පහක් පමණකි. නමින් පන්සිය පනස් යැයි කීවාද ආසන්න පන්සිය පනහා ලැන සලකා ඒ නම ව්‍යවහාරයට පත් වී ඇති බවක් දැකිය හැකිය. ජාතක පොතේ දක්නට ලැබෙන කතා මාර්ගය නිසා එය ජනප්‍රිය වුයේ යැයි සිතිය හැක.
 

ජාතක කතා පොදුජන ජීවිතයට කෙතර රට දුරට කාවැදී ඇත්දැයි තේරුම් ගත හැක්කේ ඔවුන් භාවිතා කරන යෙදුම්වලිනි, උපමා මාර්ගයෙන,ි සිතුම් පැතුම් වලිනි.( කාලකන්නියා ගිය තැන ගල් වැහි, මු හරි මුසිලයා,මෙහෙම කාලකන්නයෙක්, හරිම පිංගුත්තරයා, එයා දැන් වෙස්සන්තර වෙලා, හරිම බෝධිසත්වයෙක්) යන පොදු ජන කියමන් වලින් පැහැදිළි වන්නේ ජාතක කතා ජන ජීවිතයම කාවැදී අදත් කියාකාරී වී ඇති බවයි. අනුකම්පාව, සත්ව කරුණාව, ආගන්තුක සත්කාරය යන මෙයින් ඔප්පු වන්නේ ගුණ වගාවට පවා ජාතක කතා හේතු වු බවයි.









ලක්දිව රජවරුන් කීප දෙනෙකුම බෝධි සත්ව චරිත අනුගමනය කොට ඇත. එය ජාතක පොත නිසාම සිදුවුවක් බව පිළිගත යුතුය. රජතුමා බෝධිසත්වයෙකැයි ජන සමාජය පිළිගත්තෙත් ජාතක කතා නිසයි. සිංහල සමාජය හා ජාතක කුරුණැගල යුගයේ විසු පරාක්‍රම නම් ඇමතිවරයෙකුගේ ආරාධනාවෙන් වීරසිංහ ප්‍රතිරාජයන්ගේ උත්සහයෙන් ලියන ලද්දක් බව සැලකේ. සිංහල ජාතක පොත භික්ෂුන් වහන්සේලාගේ පරිවර්තනයක් ලෙස සැලකීම යුක්ති යුක්තය. ජාතක පොතේ දැක්වෙන ප්‍රකාශයට අනුව පරාක්‍රම ඇමතිවරයාගේ ඇරයුමින්  වීරසිංහ ප්‍රතිරාජයන්ගේ ධනපරිත්‍යාගයෙන් බුද්ධඝෝෂ ආචාර්යවරයාගේ ඇසුරෙන් ශ්‍රී ලාංකික භික්ෂුන්ගේ ශ්‍රමයෙන් සකස් වුවක් ලෙස පිළිගත හැකිය.

මෙසේ රචිත පන්සිය පනස් ජාතක පොත නිසා අප රටේ සිංහල ජනතාවගේ දිවි පෙවෙත සකස් වු ආකාරය කෙබදු දැයි සිතා ගත හැකිය.ජාතක පොතේ කතා ඇසරෙන් ජන ජීවිතය සංවර්ධනය විය. උදාර ගති ගුණ සකස් විය. ජනතාව තුළ සුගුණ ධර්ම වර්ධනය වී ගිය අතර අගුණ ධර්ම දුරු වී ගියේය. පර පසළොස්වක පොහෝ දින පෙහෙවස් සමාදන් වු (අටසිල් සමාදන් වු) උපාසක උපාසිකාවෝ එක තැනකට රැස්ව තාලයකට අනුව කියු ජාතක කතාවකින් අපරිමිත තෘප්තියක් ලැබු අතර ඔවුන්ගේ ජිවීතවලට එයින් පුර්වාදර්ශයක් ලැබිණි. ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාව තුළ ආගන්තුක සත්කාරය, දයාව, දානය, පරිත්‍යාගය, අනුකම්පාව වඩා වර්ධනය වුයේය.සඳකිඳූරුදාව, වෙසතුරුදාව වැනි ජාතක කතා නාට්‍යාකාරයෙන් පන්සල්වල රඟ දැක්වීම ද සිදු කෙරිණි. වනිතාවන් තුළ පති භක්තිය ඉහළ මට්මක රදවා ගැනීමට එම ජන කතා හා නාට්‍ය අතිශයින් ඉවහල් වුයේය. සාහිත්‍යකරණයට යොමු වු කතුවරු, විශේෂයෙන් කාව්‍යකරණයට බොහෝ දෙනෙක් ජාතක කතාවක් වස්තු බීජය වශයෙන් තබා ගෙන කාව්‍ය නිර්මාණය කළහ. කව් සිළුමිණ, කාව්‍ය ශේඛරය, දහම්සොඩ කව, ගුත්තිල කාව්‍යය, සසදාවත, කුසදාව, වැනි පොත් අප සාහිත්‍යයට එකතු වුයේ ඒ අයුරිනි. ඒ සමඟම පෙදෙන් බුදු සිරිතා, වැනුවා නම් බුදු ගුණ වැනුවාමය. කිවි බැව් කිවිදුමේ, කුසුම් සැපත් එහි විපුල් පෙළ බෝසත් සර වැනුම්- වියතේ මුවපත් වේවා. වැනි පද්‍ය පාඨවලින් කවීන් ජාතක පොත සිය නිර්මාණකරණයට කෙනෙක් ඉවහල් කර ගත්තේ ද යන්න හෙළි දරව් වෙයි.
 

මේ නිසා සිංහල බෞද්ධ සාහිත්‍යයක් වුයේය. එදත් අදත් එය එසේමය. අද පවා නාට්‍ය නිර්මාණය සඳහා තෝරා ගන්නේ ජාතක කතාය. මනමේ- වෙස්සන්තර වැනි නාට්‍යවලින් ඒ බව ඔප්පු වෙයි. මේ ආකාරයට ජාතක පොත ශ්‍රී ලංකා ධරණි තලයෙහි පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිතව පවත්නා විශ්ව සාහිත්‍යයට අපෙන් එකතු කළ හැකි සාහිත්‍ය කෘතියක් බවට පත්ව ඇත. එහි වටිනාකම තව අවුරුදු දෙදහස් පන්සීයක් ඉක්ම ගිය ද අඩු නොවන තත්ත්වයක පවතී. සාහිත්‍ය ලතාවන් රෝපණයට අනගි තෝතැන්නක් ලෙස සැලකිය හැකි පන්සිය පනස් ජාතක පොත අගයෙන් අඩු නොවන කෘතියක් ලෙස සැලකීම සුදුසුය.
 
නාට්‍ය කලාව, චිත්‍ර කලාව, කැටයම් කලාව වැනි විවිධ කලාවන්ගේ පහළ වීමට ජාතක කතා බෙහෙවින් බලපා ඇති බව කිව යුතුය. ඒ අතරින් වෙස්සන්තර ජාතකය වැනි ජාතක කතා විහාරවල චිත්‍රණය කර දැක්වීමට අපේ කලාකරුවෝ සමත් වුහ. ඒ මඟින් ස්ත්‍රීන් තුළ තිබිය යුතු වනිතා ගුණාංග ස්ථාවරව පවත්වා ගැනීමට විශාල මෙහෙයක් මෙම ජාතක කතාවන්ගෙන් ඉටු වු බව සිතා ගත හැකිය.

බොහෝ විහාර මන්දිරවල දුරාචාරයේ යෙදුණු ස්ත්‍රීන්ට අත් වන ඉරණම ද ජාතක කතාවලින් පිළිබිඹු වන ආකාරයට දක්වා තිබීම නිසා අපේ කලාකරුවන් බොහෝ ස්ත්‍රීන් තුළ පාප භිරුක ගතියක් ඇති විය. ඒ සමඟම කලා පෝෂණය ද සිදුවිය. නාට්‍ය කලාවන් ද කාලයාගේ ඇවෑමෙන් සිංහල සාහිත්‍ය වංශයට එකතු වීමට ජාතක කතා බලපෑ බවද පැහැදිලිය.
 
මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට ජාතක කතා තරම් බලපෑ වෙනත් යමක් නැති තරම්ය. ගුණ ධර්මයන්ගෙන් සංවරශීලී ජනතාවක් බිහි වීමට ජාතක පොතින් ඉටු වු මෙහෙය සුළු පටු නොවේ. තවත් ඉදිරියට ද එමඟින් විශාල සාහිත්‍ය පෝෂණයක් සිදුවනු නොඅනුමානය.

Tuesday, June 13, 2017

සිතුවිල්ල

බියකරු සසර ගමනේ කෙලවරක්      නැත
බැදුණු බැදීම්  ගෙනදෙන දුක් නිමක්   නැත
සසරින් එතෙර වන්නට පින් සිතක්     ඇත
දරනෙමි කසාවත් යන්නට  නිවන්        මග


නුවණින් යුතුව යහපත් මිතුරන් හඳුනා ගනිමු.




සමාජය යනු ගතික වුවකි. පුද්ගල එකතුවකින් ගොඩ නැගුන මෙම විෂම සමාජය තුළ විවිධ පුද්ගලයන් ජිවත්වෙනු ඇත. එමෙන්ම විවිධ සමාජ සම්බන්ධතා ගොඩ නැගෙනු ඇත. මේ සමාජය තුළ අප විසින් ගොඩනඟා ගන්නා ලද විවිධ සබඳතා අනුව අප පිරිහීමට ලක්විය හැකියි. එබඳු සමාජ සම්බන්ධතා අතර මිතුරු සබදතාවය යනු සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයකුම ගොඩනගා ගන්නා සබදතාවකී. කුඩා කල දෙමාපිය සේවනේ සැදී වැඩෙන පුද්ගලයා අධ්‍යාපනය සඳහා ගමන් කරන ඇරඹුම ඔහු සමාජගත විමේ ඇරඹුම වේ. එතැන් පටන් ගොඩ නඟා ගන්නා මිත්‍ර සම්බන්ධතා මියදෙන තුරාවටම විවිධ ගම්, විවිධ ප්‍රදේශ, විවිධ රටවල් යනාදියෙහි ජිවත් වන පුද්ගලයන් සමඟ ගොඩනඟා ගනු ලබයි.
 
 
එමෙන්ම මෙම මිත්‍රත්වයට ස්ත්‍රී පුරුෂ භේදයක්ද ඇත්තේ නැත. මෙලෙස ගොඩ නඟා ගන්නා සම්බන්ධතා තමාගේ යහපත උදෙසා ගොඩනගා ගැනීම වැදගත් වනු ඇත. අප ඇසුරු කරන අයගේ ස්වභාවය අපේ ජීවිතයට තදින්ම බලපානු ලබනවා. ගිහි ජිවිතයේ දී පමණක් නොව පැවදි ජීවිතයටද මෙය බලපෑම් කරනවා ගුණධර්ම දියුණු කරන්න අශ්‍රය සියයට සියයක්ම බලපානු ලබනවා. නිසි මිතුරු ඇසුරක් නැති පුද්ගලයා අධාර්මිකව පරිහානියට පත්වන අයුරු බදුුරාජාණන් වහන්සේ සිඟාලෝවාද සුත්‍රය තුළින් දේශනා කරනවා.  උන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට ඇතැම් යහළුවන් සිටිනවා මත්පැනට යහළු වු අය ඔවුන් පානසඛා යනුවෙන් හඳුන්වනු ලබනවා. තවත් සමහරෙක් මුනිච්ඡාවට යාලුවෙනවා. මුනිච්ඡාවට කියන්නේ මුණ ගැහුණාම පන දෙන්න කතා කරන පිරිසටයි. ඊට පස්සේ ඒ යාළුකම ඉවරයී. ඔවුන් සම්මියසම්මියෝ යනුවෙන් හඳුන්වනු ලබනවා. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ අධර්මයට පත්, උතුම් දේවල් සේවනය නොකරන පුද්ගලයාගේ ජ’විතය කරුවල වේගෙන එන සඳක් වගේ පිරිහීලා යනවා යන්නයී.
 
 
ඒ අනුව අප ආශ්‍රය කළ යුතු නොකළ යුතු මිත්‍රයන් අට දෙනෙකු පිළිබඳව බුදුරාජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ මුලින්ම පෙන්වා දෙන්නේ මිතුරු වෙසින් ළඟ දැවටෙන අමිත්‍රයෝ සිව් දෙනෙකු පිළිබඳවයි. මෙම අමිත්‍රයන් මිත්‍රයෙකුගේ වේශයෙන් සිට සිදු කරනු ලබන්නේම හතුරුකම් මොවුන් මිත්‍ර ප්‍රතිරුපකයන් ලෙසද හඳුන්වනු ලබනවා. ඔවුන් සිව්දෙනා නමින් අඤ්ඤදත්ථුහර, වචිපරම, අනුප්පියභානි, අපායසහය යන්නයි.
 
 
අඤ්ඤදත්ථුහර මිත්‍ර ප්‍රතිරුපකයාගේ ස්වභාවය වනුයේ මොහු පැමිණෙන්නේම යහළුවාගෙන් මොනවාහරි අරගෙන යන්නයි. තමා පුංචි දෙයක් රැගෙන ගොස් යහළුවාගෙන් ලොකු දෙයක් රැගෙන යාමට මොහු කටයුතු කරනු ලබනවා. නමුත් ඔහුව සොයන්නට බැහැ ඊට හේතුව ඔහු සිටිනුයේ මිත්‍රකමෙන් වීමයි. එමෙන්ම එයා තමාට බියක් උවදුරක් ඇති වු වෙලාවට තමන්ගේ යහළුවා වෙත ගොස් උදව් ලබා ගන්නවා. නිතරම තමාගේ වැඩකර ගන්නවා. තමන්ට ප්‍රයෝජනයක් ගන්න විතරයි යාළුවාව අශ්‍රය කරනු ලබන්නේ. එවැනි ලක්ෂණ වලින් යුතු මිත්‍රයෙකුගේ වෙශයෙන් සිටින අමිත්‍රයා අඤ්ඤදත්ථුහරයි.
 
 
දෙවැනි කෙනා වචිපරමයි. මොහු වචනයෙන් පමණක් හරි හිතවත්. ඒ නිසා වචිපරම මිත්‍රයාගේ ලක්ෂණ පෙන්වා දෙන්නේ වචනයෙන්. මොහු කතා කරන්නේ පන දෙන්න මෙනි. “අනේ මට අසවල් දේ තිබුණානම්, මට ඔයාව කලින් හම්බවුනා නම්, මං මේ ඔක්කෝම දෙන්නේ ඔයාටනේ. මට ඔයාට මේ දෙවල් වලට ලේසීයෙන් උදව් කරන්න තිබුනා. ” යනුවෙන් පවසමින් මේ විදියට අතීතය ඉස්මතු කරලා කතා කරනු ලබනවා. “ මං ඉන්නේ රට යන්න මං ගිය ගමන් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ ඔයාව ගෙන්න ගන්නවා. ඕනෑම උදවවක් කරන්නම් මේ ඔක්කෝම කියන්නේ අනාගතය ගැන දක්වමින්. ” දැන් කරන කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මොහු අතීත වචනවලින් අනාගත වචනවලින් සංග්‍රහ කරනු ලබනවා. ඉතිං අසරණ වු පුද්ගලයා හිතන්නේ මම අසරණ වු වෙලාවේ මෙයා ඉන්නේ හරි කැක්කුමකින්. අනේ මෙයාට දැන් තිබුණා නම් දෙනවා. එත් එයාට දැන් නැනේ. ඒ නිසා අනාගතයේ දී දෙයි කියලා රැවටෙනවා. ඒ අනුව මොහු නිරන්තකේන සංගණ්හාති යන අර්ථයෙන් හඳුන්වනු ලබනවා. එනම් අර්ථයක් නැති කතා වලින් සංග්‍රහ කරනවා යන්නයි. “මං අනෙක් අයට මේ විදිහට සලකලා තියෙනවා. මම පුළුවන් කාලයේ සැලකුවේ මෙන්න මෙහෙමයි. අසවලා අසවල් තැන ඉන්නේ මම නිසයි. ” ඉතිං මුලාවට පත්වන මිතුරා හිතන්නේ මොහු නම් හරීම ප්‍රයෝජනවත් කෙනෙක්. මෙයා තමා හැමෝටම උදව් කරන්නේ හැමෝගේම ජිවිත වලට අලෝකයක් උදාකර ඇත්තේ මොහුයි. යනුවෙන් තමන් මුලා වෙනවා. මෙම මිත්‍රයා අතීතයේදී අනාගතයේදී මෙසේ වචනයෙන් සංග්‍රහ කරන්නා සේ වර්තමානයේ දී ත් මොහු ලස්සනට පිළිතුරු දෙනවා. එනම් මොහු වර්තමාන කාලයේ තමන්ගේ ව්‍යසන දක්වනු ලබනවා. “ අනේ මේ වෙලාවේ මට උදව් කරන්න විදිහක් නැහැ. මමත් මේ වෙලාවේ ඉන්නේ විශාල කරදරයක වැටිලා. ඒ වගේම ණය ගෙවන්න වෙලා.” යනුවෙන් උදව්වක් ඉල්ලන්න බැරි විදිහට විස්තර කරනවා. වචිපරම මිත්‍රයාගේ ස්වභාවය වන්නේ එයයි.
 
 
ඊළඟ මිත්‍ර ප්‍රතිරූපකයා වනුයේ අනුප්පියභානි ඔහුගේ ස්වභාවය වන්නේ යහළුවා කතා කරන හැම දෙකටම අනුකූලතාවය දැක්වීමයි. මිතුරා යම්කිසි පාප ක්‍රියාවක නිරත වෙලා සිටිිනවා. නැතිනම් කුමක් හෝ වරදකට, එසේ කරමින් යහළුවාට ඒ පිළිබඳ ප්‍රකාශ කරනවා. එවිට එය අනුමත කර බොහෝ හොද ක්‍රියාවක් යැයි ඔහුට අනුබල දෙනවා. එතකොට පෙනෙන්නේ හිතෛශී බවක්. ඔහුට අවශ්‍යත් එයයි. ඒ නිසා අනුප්පියභානි මිතුරා එය සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. මොකද තමන් කරන වැරදි දේ යාළුවා අනුමත කරනකොට මිතුරා ඔහුට ප්‍රිය වෙනවා. අයහපත් දේට විතරක් නෙමේ මේ කෙනා යහපත් දේටත් උදව් කරනවා. ඒ නිසා තෝරා බේරා ගන්න අමාරුයි. දානයක් දෙන්න සුදානම් වුණොත් ආ බොහෝම අගෙයි මගේ ගානෙත් දානයට අවශ්‍යය දෙවල් ලබා දෙන්නම්. යනුවෙන් පවසමින් යහපත් දෙත් අනුමත කරනවා. එතකොට හැම තිස්සේම පෙන්නේ උදව් දෙනවා වගේ. ඒ නිසා මෙම මිත්‍ර ප්‍රතිරුපකයාද හඳුනාගැනීම අසීරු වෙනවා. යාහළුවා යම් පාප ක්‍රියාවකට සුදානම් වුනොත් මොහු ඒ පාපයටත් උදව් කරනවා. ඒ වගේම පිනටත් උදව් කරනවා. ඒ වගේම මොහු යහළුවා ඉදිරියේ මුහුණට ගුණ කියනවා. එසේ ගුණ කීවත් යනකම් ඉදලා අගුණ පවසනවා.
 
 
“ඔය පින් කළාට මෙන්න මෙහෙමයි පවුත් කළේ. ” යනුවෙන් පවසමින් අගුණ කියනවා. ඒ වගේම මිතුරා කළ පින්වැඩ වලට ලකුණු දාගන්නෙත් තමන්මයි. “ එයා ඉස්සර කළේ වැරදිමයි. මමයි ඔය විදිහට පින් දහම් කරන්න මඟ කියලා දුන්නේ. ” යනුවෙන් තමන්ටම ලකුණු දා ගැනීම මෙම මිත්‍ර ප්‍රතිරූපකයාගේ ස්වභාවයයි.
ඊළඟ මිත්‍ර ප්‍රතිරූපකයා හරීම පැහැදිළි. එනම් අපායට පාර කපන අපායසහයකයි. ඔවුන් යාහළුවෙක් වගේම ඉන්නවා. නමුත් යහළුවෙක් නොවේ. මේ මිත්‍ර ප්‍රතිරූපකයා හරිම භායානකයි. ඔහු හොදට බොන්න උදව් කරනවා. මත්ද්‍රව්‍ය පාවිච්චියට උදව් කරනවා. මත්ද්‍රව්‍ය ඔහු ගානේමයි ගෙනත් ලැස්ති කරලා දෙන්නේත්. ඒ වගේම විනෝද ගමන් යන්න ආරාධනා කරනවා. එහිදි බීමට සුදුසු  පරිසරයකටයි මොහු රැගෙන යන්නේ. “මෙන්න නුඔලට මං ගානේ. ”යනුවෙන් පවසා මත්ද්‍රව්‍ය ලබා දෙනවා. ඉතිං අනුවණයා රැවටෙනවා. මෙයයි සැබැ මිතුරුකම කියලා රැවටෙනවා.  වර්තමාන සමාජයේ මෙවැනි සිදුවිම් බහුලව දක්නට ලැබෙනවා. ඒ වගේම වැරදි ගමන් බිමන් අවේලාවේ ගමන් බිමන් යන්න කතා කරනවා. සංගීත සංදර්ශනවලට එක එක විනෝද වැඩවලට යමු කියලා බලෙන්ම එක්කගෙන යනවා. “යාළුකමටනේ කියලා තමනුත් රැවටෙනවා. එදා අවේ නැ. අද එන්නම ඔන. ” යනුවෙන් පවසා කෙසේ හෝ එක්කගෙන යනවා. ඉතිං යාලුවානේ කියලා හිතලා ගිහිල්ලා තමන් විනාශ වෙනවා. මේ විදියට මොහු එක්කගෙන යන්නේ ම වැරදී වැඩකට මොහු කෙලින්ම සහය වන්නේ අපාගත වීමටයි. මෙකි ස්වභාවයන්ගේ යුක්ත නිසා මොහු හඳුන්වන්නේ අපායසහායක මිත්‍ර ප්‍රතිරූපකයා ලෙසයි.

වර්තමානයේ නම් මිත්‍රයන්ගේ ස්වභාවය මේ විදිහට වෙන්කරලා පෙන්වන්න තියා හිතා ගන්නවත් බැහැ. නමුත් බුදුරාජාණන් වහන්සේ හරි අපුරුවට මිනිස් ලෝකය දැකලා තියෙනවා. මනුෂ්‍ය ස්වභාවය හරි පුදුමයි සතුන්ගේ ස්වභාවය නම් හඳුනාගන්න හරී ලේසියි. සත්තු උන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා. ඒ නිසා සතුන් හඳුනාගන්න, හදන්න හරි ලෙසියි. නමුත් මිනිස්සු තමන්ගේ ඇත්ත ස්වභාවය කිසිසේත් ම ප්‍රකට කරන්නේ නැහැ. මිනිස්සු ගුප්තයි. ඔවුන්ගේ ස්වභාවය සැගවිලා ඇති අතර පිටස්තරව නොපෙනේ. එහෙයින් මෙවැනි මිනිසුන් ජිවත්වන සමාජයක යහපත් ඇසුරක් සේවීම අසීරු කරුණක් වෙනවා.
 
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අමිත්‍රයන් සිව්දෙනා භායානක මාර්ගයක යනවා වගේ කියලා හිතලා දුරින්ම දුරුකරන්න කියලා. ඒ කියන්නේ අප කවුරුත් අලි කොටි වගවලසුන්ගෙන් ග්‍රහණය වු සොර සතුරන්ගෙන් ග්‍රහණය වු භායානක මාර්ගයක් තිබුනොත් එහි ගමන් කරන්නේ නැහැ. කෙනෙකු අඩ ගැසුවත් අපි එවැනි පාරක ගමන් කිරීමට අකමැති. ඒ ආකාරයට මේ අමිත්‍රයෝ දුරින්ම දුරු කරන්නයි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ.
 
ඒ වගේම බුදුුරාජාණන් වහන්සේ ඇසුරු කළයුතු මිත්‍රයන් සිව්දෙනෙකු පිළිබඳවත් දේශනා කරනවා. එනම් උපකාරක සමාන සුඛදුක්ඛ අත්ථක්ඛායි අනුකම්පක යන්නයි. උපකාරක මිත්‍රයාගේ ස්වභාවය වන්නේ ප්‍රමාදී වු යහළුවාව ආරක්ෂා කිරීමයි. එනම් යාහළුවා යම් කරදරයක වැටිලා ප්‍රමාද වෙලා ඉන්න විට ඔහුට අනුකම්පා කිරීම, උපකාර කිරීම, ආරක්ෂා කිරීම යන්නයි. තම මිතුරා බිය හිංසා තැති ගැන්වීම් වලට පැමිණිලා බොහෝම දුක සේ ඉන්න විට ඔහුව සොයා ගොස් උදව් කරනවා. ඒ වගේම බිය සංකා නැතිවෙන්න කරුණු කියා ඔහුව ශක්තිමත් කරනවා. බුද්ධ දේශනාවේ සඳහන් වන පරිදී මේ උපකාරක මිත්‍රයා තම මිතුරාට දෙගුණයකින් උපකාර කරනු ලබනවා.
 
සමාන සුඛදුක්ඛ යනු දෙවන මිත්‍රයයි. මොහු තම මිතුරා සැපෙන් ඉන්න විට සතුටු වෙනවා. දුකින් ඉන්න විිට මෙයත් දුක් වෙනවා. ඒ වගේම යම් කරදරයක් වුණු වෙලාවට විපත්තියකදී යාහළුවාව අත්හරින්නේ නැහැ. තම මිතුරා ළගින්ම සිටිනවා. ඕනෑම වෙලාවක යහළුවාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජිවිතය පවා අත්හරින්න ලැස්ති යාහළුවෙක් ලෙස මෙම මිතුරා හැදින්විය හැකිය. එවැනි මිතුදම් බුද්ධකාලයේදී දක්නට ලැබුනා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගිහි කාලයේ එවැනි යාහළුවෝ. උපතිස්ස කෝලිත යන තරුණයන් දෙදෙනා අතර වුයේ ද එවැනි ඉතාම සුහද සැබෑම මිතුදමකී.
 
අත්ථක්ඛායි මිතුරා තුන්වැන්නායි අත්ථක්ඛායි යනු යහපත කියාදෙනවා යන අර්ථයයි. යහපත කියා දෙනවා යනු තම මිතුරා නොමඟ යන අවස්ථාවලදී ඒක අනෙක් යාළුවාට වදයක් වනු ඇත. නමුත් මොහු යහළුවා අත්හරින්නේ නැතුව කරුණු කියා පාපයෙන් වළක්වා ගන්නවා. ඒ වගේම යහපත් දේ සිදුකිරීමට පුරුදු කරවනවා, යහපතේ යොදවනවා, පවින් වළක්වනවා, මව්පියන්ට ගුරුවරුන්ට ගරු කිරීමට පොළඹනවා, පෙර නොඇසු විරූ ධර්මය අසන්නට සලස්වනවා. ඝටිකාර යනු කාශ්‍යප බුදුරාජාණන් වහන්සේගේ කාලයේ සිටි එවැනි මිත්‍රයෙකී. මොහු තම මිතුරා වු ජෝතිපාලට අත්ථක්ඛායි මිත්‍රයෙක් වුණා. ජෝතිපාල කෙතරම් විරුද්ධ වුවත් ඝටිකාර කෙසේ හෝ තම මිතුරාව කාශ්‍යප භාග්‍යයවතුන් වහන්සේ වෙතට රැගෙන ගොස් ධර්මය ශ්‍රවණය කිරීමට සලස්වනවා. ධර්මය අසා ජෝතිපාල බොහෝ සෙයින් පැහැදෙනවා. පෙර නොඇසු විරූ ධර්මය අසන්නට සලස්වා තම මිතුරා යහමඟට ගත් ඝටිකාර සැබවින්ම අත්ථක්ඛායි මිතුරෙකු වු බව මේ තුළින් පැහැදිළි වෙනවා. අත්ථක්ඛායි මිත්‍රයා ස්වර්ගයට මාර්ගය කියා දෙනවා, සුගතියේ දෙවියන් අතර උපදින්න මාර්ගය කියාදෙනවා, යහපත ගැනම කතා කරනවා, අත්ථක්ඛායි මිත්‍රයාගේ ස්වභාවය එයයි.
 
සිව්වැන්නා අනුකම්පකයි. අනුකම්පක මිත්‍රයාගේ ස්වභාවය වන්නේ තමන්ගේ යහළුවා පිරිහෙන බව දැනුනාම එනම් මුලදි යාහළුවා සිල් ගත්තා, ධර්මය ශ්‍රවනය කළා, දනාදී පින්කම් කළා, නමුත් දැන් කරන්නේ නැහැ එවැනි අවස්ථාවලදි තමන්ගේ යාළුවා ගැන දුකක් හට ගන්නවා. සතුටක් ඇතිවෙන්නේ නැහැ. මොහු සතුටු වන්නේ යාහළුවාගේ දියුණුව ඉදිරියේ පමණයි. යාළුවාට හොද රැකියාවක් ලැබිම, හොද නිවසක් ලැබිම, හොද ජිවිතයක් ගත කිරීම යන මේ දෙවල් දැක මොහු සතුටට පත්වෙනවා. ඒ වගේම කවුරුහරි තමා ඉදිරියේ යාහළුවාට අපහාස කරනවා නම් එය වළක්වනවා. එසේ වළක්වා යාළුවාගේ ගුණ කියනවා. ඒ වගේම මිතුරා ගැන වර්ණනා කරන තැනැත්තාට ප්‍රශංසා කරනවා.
 
 
මෙම මිතුරන් සිව්දෙනා ඇසුරු කිරිමේදී අම්මා කෙනෙක් තමන් වැදු දරුවා ඇසුරු කරනවා වගේ මේ යහළුවන් හොදින් ඇසුරු කරන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප පාසල් යන කාලයේ දෙමාපියෝ අපව කොච්චර ආරක්ෂා කළත් සමහර විට අපට බෙරෙන්න බැහැ. අපම හිතලා බෙරිය යුතුයි. සමාජය පිළිබඳ එහි මිනිසුන් පිළිබඳ හරි හැටි තේරුමක් නොදක්වන අපි ඕනෑම අවස්ථාවක නරක මිත්‍ර ඇසුරට යොමු වෙන්න පුලුවන්. පාපී මිතුරන් හදුනා ගැනීමට අපට බුද්ධියක් තිබිය යුතුයි. එසේ නොමැති විමෙන් අප මුලාවට පත් වෙනවා. එහෙයින් අප කුසල් අකුසල් හොඳින් හඳුනාගත යුතුයි. එනම් එම මිතුරු ඇසුරට වැටිමට පෙර තමා තුළ යම්කිසි කුසලයක් යහපත් ගුණයක් තිබුනද ඒකට මේ අශ්‍රයෙන් යහපතක් වුණාද, මට ධර්මය අහිමි වුණාද යන්න කල්පනා කර තේරුම් ගැනීමට ශක්තියක් අප තුළ තිබිය යුතුයි. තමන් තුළින්ම විනිශ්චයක් ලබාගෙන මිස පාප මිත්‍රයා හඳුනාගැනිම කතා බස් කරලා මුහුණ දිහා බලලා සිදුකිරීමට අපට හැකියාවක් නැහැ. තමන් තුළ පෙර නොතිබු පිරිහීමක් ඇති නම් තමන් ඇසුරට වැටි ඇත්තේ පාප මිත්‍රයන් බව විනිශ්චය කිරීමට තරම් බුද්ධියක් අපට තිබිම වඩාත් වැදගත් වෙනවා.
 
 
අපට ලෝකයේ එක් එක් විවිධ පිරිස් අශ්‍රය කරන්න හම්බවුනාට බොහෝ දෙනාට ඒ අයව තෝරාගන්න ශක්තියක් නැහැ. මේ කෙනා මෙහෙමයි මේ කෙනා මෙහෙමයි කියලා කණ්ඩායම් වශයෙන් කොටස් කරන්න අපට හැකියාවක් නැහැ. ඒ සඳහා තියුණු ඥාානයක් බුද්ධිමත් බවක් අවශ්‍යයි. අප පාප මිත්‍ර ඇසුරට පත්වෙන්නේ අප තුළ පවතින දුර්වලතාවයක් නිසා. අප අප තුළ පවතින දුර්වලතාවයන් හඳුනාගෙන සතර අගතියෙන් යුක්ත එනම් ජන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්, භයෙන් අගතිගාමි වු මේම මිත්‍ර ප්‍රතිරූපකයන් හඳුනාගෙන බුද්ධ දේශනාවේ සඳහන් පරිදි ඔවුන් දුරින්ම දුරුකර යහපත් ජිවිතයක් ගත කිරීමට නිසි මිතුරෙක් නැතිකළ හුදෙකලාව හොදම මිතුරා කරගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම දිනපු රට අත්හරින රජෙක් වගේ, වනාන්තරේ රැලෙන් පැනලා ආපු තනි හස්තියෙකු වගේ තනිවම ජීවත් වීම යහපත් බව බුද්ධ දේශනාව තුළ තවදුරටත් සඳහන් කර ඇත. 
  
  
   

පිනක ඇති වටිනාකම



 සමාජයේ ජීවත්වන අප මේ මනුස්ස ලෝකය තුළ කී වතාවක් උපත ලැබුවද යන්න අප දන්නේ නැහැ.තිරිසන් ලෝකයේ කී වතාවක් උපත ලැබුවද, පෙරේතයෝ වශයෙන් සසරේ කොච්චර ඉන්න ඇද්ද ඒ වගේම නිරයේ ඉන්න ඇද්ද ඒ කිසිවක් පිළිබඳ අපි දන්නේ නැහැ.මිනිස් ලෝකයේ උපත ලබන අපි සතර අපායට යලි වැටෙන ස්වභාවයෙන් යුක්ත බව අප දැන සිටියේ නැහැ.බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවල බොහොම අපුරුවට මේ දේවල් සඳහන් කරලා තියනවා. බුදුන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කිරීමේ එක ඉලක්කයක් වුයේ සත්වයා සතර අපා දුකින් නිදහස් කිරීමයි, දෙවන කාරණාව වුයේ සුගතියේ සැප ලබාදීමයි, තෙවන කාරණය වුයේ සසරේ කෙළවරක් නැතුව යන ගමන කෙටි කරවීමයි, සිව්වන කරුණ වුයේ සසර දුක ඉවත් කරදී නිර්වාණ අවබෝධය ලබා දීමයි.

 
 නිර්වාණ අවබෝධය ලැබීමට නම් බුද්ධිමත් බව තිබිය යුතුයි.නමුත් සමාජයේ ජීවත්වන බොහෝමයක් දෙනාට බුද්ධිමත්ව සිතීමට තරම් ශක්තියක් නැහැ.ඊට හේතුව සෑම පුද්ගලයෙකුගේම සිත් කෙලෙස් වලින් පිරිලා.මිනිසුන්ගේ සිත් ආශාව, මාන්නය, තණ්හාව, පළිගැනීම, වෛර කිරීම වැනි ස්වභාවයන්ගෙන් යුක්ත වීම හේතුවෙන් ඔවුන් තුළ බුද්ධිමත්ව කල්පනා කිරීමට තරම් ශක්තියක් නැහැ. එබැවින් බුද්ධ දේශනාවන් වල නියම ප්‍රයෝජනය ගැනීමට ඔවුනට හැකියාවක් නැහැ.සෑම සත්වයෙක්ම ඉපදීමට,මේරීමට,මරණයට අයිතියි.මරණයෙන් පසු අප උපදින්නේ ප්‍රේත ලෝකයේ ද, තිරිසන් ලෝකයේ ද, මනිස් ලෝකයේ ද එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයේ ද යන්න තිරණය වන්නේ අපි කරන පින් මතයි. මනුෂ්‍ය ලෝකයේ උපත ලබන අපි අප විසින්ම අපට අවශ්‍ය දෙවල් නිර්මාණය කරගනු ලබනවා.මෙලෙස ලෝකය නිර්මාණය කර ගැනීම පිටිපස්සේ තියෙන්නේ පිනයි. පින තමයි ඊට අවශ්‍ය පරිසරයට අපව යොමු කරන්නේ.

මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අපි රේඩියෝව අහනවා, රුපවාහිනිය නරඹනවා, අපට ඕන කරන කෑම බීම වගා කර ගන්නවා, අපට කන්න අවශ්‍ය දේවල් අපි හදාගන්නවා, අපට ඕන කරන ලස්සන ඇඳුම් මහගන්නවා, යාන වහන ගන්නවා, නමුත් අපේ ගෙදර ඉන්න තිරිසන් සත්වයින්ට මේ කිසි දෙකින් ඵලක් නැහැ.නිවසේ සුරතලේට හදන බල්ලෙකුට ලයිට් වලින් ප්‍රයෝජනයක් නැහැ, රුපවාහිනියෙන් ප්‍රයෝජනයක් නැහැ, ටෙලිෆොන් අවශ්‍ය නැහැ, ඇඳුම් අවශ්‍ය නැහැ, බල්ලට ඕන කෑම ඉල්ලලා කන්න බැහැ. මනුස්සයෙක් හැටියට අප විදින සැපයන් එකක්වත් ඒ සතාට විදින්න බැහැ.ඊට හේතුව ඒ සතාට පිනක් නැතිකමයි. අපි කතාවටත් කියනවා “පින තියෙන්න ඕනි” කියලා. අපි සැප විදින්නේ පින නිසා.හැබැයි මේ සැප පිටි පස්සේ තියන පින හඳුනාගන්න මනුෂ්‍යයා අසමත් වෙලා තියනවා.මිනිසුන් වන අපට මනුෂ්‍ය ලෝකයේ දී පිනෙන් ලද සැපය පමණක් නොව දුකක් ඇද්ද එම දුකද විදින්නට සිද්ද වෙනවා.

මනුෂ්‍යය ලෝකයට අපව ගෙනාවේ පින විසින්. මනුෂ්‍යය ලෝකයේ දී අපට සැප ලබන්න උදව් කරන්නේ මේ පිනයි. පින තියෙන කෙනාගේ ඒ පින පාවිච්චි වෙන විදිහ අපට හොයන්න බැහැ.පින් දහම් රැස්කරගන්න කෙනාගේ ජීවිතයට ඒ පින විපාක දෙන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළින් පෙන්නලා තියනවා.
 

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් බොහෝ සේ සිල් ගුණ දහම් සපුරමින් ජිවත් වුනා.මොවුන් මිතුරන් වුවා.එක් භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාතේ යමින් ගිලන් වු භික්ෂුන් වහන්සේලාට දානය ලබා දුන්නා.ඒ වගේම පින්ඩපාතය ගොස් දානය නොලැබුන භික්ෂුන්ට දානය ලබාදුන්නා. එසෙ ලබාදී තමා දුන් දානයන් සිහිකරමින් සතුටුවෙමින් විදර්ශන වැඩුවා.අනෙක් භික්ෂුව විදර්ශනා පමණක් වැඩුවා. පින් කළේ නැහැ.මොවුන් දෙදෙනා මරණින් මතු දිව්‍ය ලෝකයේ උපත ලැබුවා.දානමනාදි පින්කම් කළ භික්ෂුව සැප සම්පත් බහුල මහේශාඛ්‍ය දෙවතාවක්ව උපත ලැබුවා.අනෙක් භිකෂුව අල්පේශාඛ්‍ය දෙවතාවක්ව උපත ලැබුවා. පසුව මොවුන් දෙදෙනා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ කොසොල් රජතුමාගේ මාළිගාවේ උපත ලැබුවා. පින් රැස් කළ භික්ෂුව කොසොල් රජතුමාගේ බිසවකට දාව රාජ කුමාරයෙක් ලෙසත් අනෙක් භික්ෂුව දාසියකට දාව දරුවෙකු ලෙසත් උපත ලැබුවා.
 

එසේ නම් පිනෙහි ස්වභාවය අනුව සැපයේ ස්වභාවයද වෙනස් වෙනවා. පෙර පින් කෙතරම් බලවත්ද? දෙව් ලොව වේවා මනු ලොව වේවා යම් පුද්ගලයෙක් සැපක් විදිනවා නම් එම සැපයට පසුබිම පිනයි. ඒ වගේම රාජ්ජුමාලා නම් දාසියද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ යමින් බොහෝ සේ පින්දහම් කර මරණින් මතු තව්තිසා දෙව්ලොව බොහෝ සැප සම්පත් ඇති දේවතාවක්ව උපත ලැබුවා. දිනක් මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා දෙව්ලොව චාරිකාවේ වැඩියා. බොහෝ සැප සම්පත් විදින මේ දෙව්දුව දැක ඈ අසලට වැඩි උන්වහන්සේ “පින්වත් දෙව්දුව, මේ සොදුරු රූපය ඔබට ලැබුනේ මොන වගේ කර්ම විපාකයක් ලෙසද? ” යනුවෙන් ඇසුවා. එවිට දෙව්දුව “පින්වත් ස්වාමින් වහන්ස මම සරණ ගිය ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසයි මේ හැමදෙයක්ම. ,මම ඉන්නේ සතුටින් ,කෙළි සෙල්ලම් කරනවා, ප්‍රිති වෙනවා, සතර අපා බයක් නැහැ, දිව්‍ය මල් මාලා දරනවා, මේ දිව්‍ය විමානය පින් නොකළ අයට ලැබෙන්නේ නැහැ,පින් කළ උදවියටමයි සිත්කළු තව්තිසාවේ නන්දන වනය ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලොව හෝ පරලොව සැපයක් ලැබෙන්නේ නැහැ.මෙලොව පරලොව දෙකෙම සැප ලැබෙන්නේ පින් කළ උදවියටමයි.” එසේ නම් මේ පින කෙතරම් බලවත් යන්න පැහැදිළි වෙනවා.
 

මෙහෙම කියන කොට ගොඩක් අයට හිතෙයි දානමනාදි පින්කම් කරන්න කෝ අපට මුදල් කියලා.බුදුරජාණන් වහන්සේ ධර්මය තිබෙන්නේ ධනවතුන් පිණිසවත්, දිළින්දන් පිණිසවත් නොවේ.උන්වහන්සේගේ ධර්මය තිබෙන්නේ නුවණ මෙහෙයවන්නනුන් උදෙසා. එනම් ප්‍රඥාවන්ත කෙනාටයි. බුදුරාජාණන් වහන්සේ දේශනා කළේ “ප්‍රඤ්ඤාවන්තස්සායං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස ” “මාගේ මේ ධර්මය තිබෙන්නේ නුවණ මෙහෙයවන කෙනාටයි. නුවණ මෙහෙයවන්නේ නැති කෙනාට නෙවේ ” ඉතින් මේ නිසා මෙහිදි සල්ලි වියදම් කරලා නෙමෙයි මේ පින් රැස් වෙන්නේ.බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “මලක් සිඹින වෙලාවක් මෙත් සිත වඩන්න.” යනුවෙනි. මෙහිදි භාවනාව වැඩිම නිසා විශේෂයෙන් ලද හැකි ආනිසංස එකොළහක් පිළිබඳ බුදුරාජාණන් වහන්සේ දේශනාකරලා තියනවා. ඒ වගේම උන්වහන්සේ “පින්වත් මහණෙනි, යමෙක් උදැසනත් දහවලත් සවසත් බත් හැළි සියය බැගින් දන් දෙන්නේ ද යමෙක් උදේ සවස ගව දෙනකගේ තන පුඩුවෙන් කිරි දොවන තරම් සුළු කාලයක් මෛත්‍රී භාවනාව වඩන්නේ ද ඒ මෛත්‍රී භාවනාමය පින ඉහත බත් හැළි සියය බැඟින් දන්දී ලැබෙන පිනට වඩා මහත් ඵලද මහානිසංසද වන්නේය” යනුවෙන් දේශනා කරලා තියනවා. එසේ නම් පින් කිරීමට මුදල ප්‍රශ්නයක් වන්නේ නැහැ.
 
 
ඒ වගේම පින් අනුමෝදන් කිරීමත් පිනක් ලෙයසි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. උන්වහන්සේ පින් කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තුනක් පුඤ්ඤකිරිය චත්ථු නැමැති බුද්ධ දේශනාවේ පෙන්වා දුන්නා.එනම් දානමය වශයෙන්, සීලමය වශයෙන් හා භාවනාමය වශයෙනි. පින අතරින් අග්‍ර වන්නේ භාවානමය පිනයි. බුදුරජාණන් වහන්සේ භාවනාමය පුණ්‍ය කියාව හැටියට බොහෝ විට පෙන්වා දුන්නේ මෛත්‍රී භාවනාවයි. උන්වහන්සේ දේශනා කළා. “පින්වත් මහණෙනි මම බෝධි සත්ව අවධියේ දී සත් වර්ෂයක් මෛත්‍රී භාවනාව වඩලා ඒ හේතුවෙන් සංවට්ට විවට්ට කල්ප හතක් මිනිස් ලෝකයට පැමිණෙන් නැතුව දෙව්ලොවින් බඹලොවට, බඹලොවින් දෙව්ලොවට ආදි වශයෙන් සුගතියේ ඉපිද බොහෝ සැප වින්දා” කියලා. භාවානමය පුණ්‍ය ක්‍රියාවේ විපාක එයයි. පින් කියන දෙවල් හිතෙන් කරන්න පුළුවන්. පින් කරන්න සල්ලි අවශ්‍ය නැහැ. පින පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති බොහෝ මිනිසුන්“අනේ අපට පින් කරන්න කොහෙද සල්ලී, පින් කරන්න සල්ලි ඔනනේ” යන අකල්ප තුළ ජිවත් වෙනවා.ඒ අනුව ධර්මය තිබෙනුනේ නුවණැත්තාටම බව පැහැදිළි වෙනවා.
 
 
පින කියන වචනය ලොවට ඉදිරිපත් කළේ අපගේ භාග්‍යයවත් බුදුරජාණන් වහන්සේ. ඒක අපි සෝයා ගත් දෙයක් නොවෙයි. සමාජයේ ජිවත්වන බොහෝදෙනා “ අනේ අපට පිං කරන්න ඕන නෑ” යනාදි අහංකාර හිස් වචන කියන්න පෙළඹිලා ඉන්නවා.ඔවුන් ඒ විදිහට කතා කරන්නේ පින ගැන නියම අර්ථය නොදැනයි. බුදුරජාණන් වහන්සේ පින ගැන බුද්ධ දේශනාවල පුදුමාකාර විදිහට අවබෝධ කළා. උන්වහන්සේ දේශනා කළේ “අප මෙලොව ජිවිතය අත්හරින කොට පින විසින් අප උදෙසා යහපත් ජිවිතයක් සකස් කරලා” තිබෙන බවයි.” බුදුරජාණන් වහන්සේ තවත් වරෙක දේශනා කරලා තියනවා.“මහණෙනි පින කියන්නේ සැපයට කියන නමක්, යහපත් දේට කියන නමක්, පියමනාප දේට කියන නමක්, සුන්දර දේට කියන නමක්” යනුවෙන්.

ඒ වගේම උන්වහන්සේ පින් යැයි සම්මත නමුත් පින් නොවන දානයන් 5ක් බැහැර කරලා තියනවා. එනම් මත් පැන් දන්දීම, නැටුම් දන්දීම, ස්ත්‍රීන් දන්දීම, වෘෂභයින් දන්දීම හා අසාභ්‍ය චිත්‍ර දන්දීම ආදියයි. ඒ වගේම මිනිසුන් වන අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරන්න ලැබෙන්නේ පිනකින්, ඒ අහපු ධර්මය මතක තබා ගන්න පිනක් තියෙන්න ඕන. මතක තබාගත් ධර්මය නුවණින් විමසන්න පින අවශ්‍යයි. ඒ ධර්මය තේරුම් ගන්නත් නුවණින් තෙරුම් අරන් ධර්මයට අනුව ජිවත් වෙන්නත් පින අවශ්‍යයි. බලන්න පින අපේ ජිවිතයට කෙතරම් වටිනවාද...? එසේ නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවන මේ උතුම් පොහොදින පැන් බින්දුව බින්දුව පිරී කලය පිරෙන්නා සේ ජීවිතයට කුඩා කුඩා හෝ පින් රැස් කරගනිමින් ධර්මානුකුල ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි.

Friday, June 9, 2017

විවේකය ධාර්මිකව ගත කරන්නේ මෙන්න මෙහෙමයි

පුද්ගලයෙකුට විවේකය  අත්‍යවශය වේ.විවේකය යනු කුමක්ද?  එදිනෙදා ජිවිතයේ කටයුතු වලින් වෙන්වීම හෙවත් විරාමයක් ලැබිම  විවේකයයි. මෙය විචක්ෂණය ලෙසද හඳුන්වයි.ගිහියා හෝ පැවිද්දා පංචෙන්දියන් පිනවිමෙන් මදකට ඉවත්විම තුළින් විවේකය ලැබිය හැකිය.ගිහියා සම්බන්ධයෙන් ගත්විට ඔහු පංචේන්දියන් පිනවමින් රැකි රක්ෂා කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් සම්බාදක සහිත කාර්යබහුල ජිවිතයක් ගත කරයි. එහෙත් බුදු සමය ඊට කැමති නොවේ.කෙසේ හෝ එදිනෙදා කටයුතු වලින් ඉවත්ව කායික මානසික සහනය පිණිස විවේකය ඇතිකර ගැනිමට බුදුසමය උගන්වයි.පැවිද්දා සම්බන්ධයෙන් ගත්විට ඔහු පංචේන්දියන් සංවර කරගෙන ගිහියාට වඩා වැඩි විවේකයක් භුක්ති විදි. බුදුරදුන් මහ සීහනාද සුත්රයේ තමන් වහන්සේ බුද්දත්වයට පෙර විවේකය ගතකළ අයුරු සඳහන් කරයි.

"" සාරිපුත්තය වනගතව විසු මම වනයට ගවයන් බලාගන්නෙකු වෙනත් සතුන් බලාගන්නෙකු , දර සපයන්නෙකු ,තණ රැස් කරන්නෙකු ,වනයේ වෙනත් වැඩක යෙදෙන්නෙකු වනයට ඇතුළු වුයේ නම් මිනිසෙකු දුටු මුවෙකු සේ වනයෙන් වනයට ලැහැබින් ලැහැබට ගොඩින් ගොඩට පල්ලමින් පල්ලමට පැන දිව්වෙමී""

ගිහියා හා පැවිද්දා  මෙසේ දෙයාකාරයකට විවේකය ගතකරන බැවින් ගිහියාට වඩා ඉක්මනින් පැවිද්දා නිවන කරා ලඟා වන බව බුදුරදුන් "මුනි ශුක්තයේ "  ‍දේශනා කරයි.










විෙව්කය කායික සුඛයකි. ධාර්මික විවේකය මානසික සුඛයකි. සිඟාලොවාද සුත්රයේ ශර්මිකයාට විවේකය ලබාදීම බුදුරදුන් ස්වාමියා සතු යුතුකමක් සේ සලකයි. ලැබෙන විවේකය තමන්ටත් අනුන්ටත් හානිදායක නොවන ලෙස ගත කිරිම බුදුසමයේ මුලික පදනමයි. ලැබෙන විවේකය අර්ත සම්පන්න සෞන්දර්ය කලා මාධ්‍ය ඇසුරු කරගෙන ගතකිරිම බුදු සමයේ මුලධර්මයක් ලෙස ඉදිරිපත් කරයි.

ගිහි ජනතාව විවේකය ලැබිය යුත්තේ කෙසේද ලැබෙන  විවේකය ගතකළ යුත්තේ කෙසේද. අසිමිත තෘෂ්ණාවෙන් ඉවත්ව අල්පෙච්ඡ වන විට බහු භාණ්ඩික නොවන විට අල්ප කෘත්‍ය හෙවත් කටයුතු අඩුවේ. කටයුතු අඩුවන විට විවේකය ඇතිවේ. ශුක්ත නිපාතයේ ධනිය සුත්රයට අනුව ධනිය  ගෝපාල  එදිනෙදා කටයුතු අවසන් කොට වැසි වැටෙන්න ආසන්න සමයේ විවේකිව කාව්‍යමය බස් වහරකින් සිය ජිවිතයේ සුන්දරත්වය සිහිපත් කරයි. එසේ නම් විවේකය අර්ථවත්ව ධාර්මික ප්රිති සුඛය ඇතිවන ලෙස ගත කිරිමේදි වන්දනා ගමන් , දන්සල් පැවැත්වීම , දාන සිල , භාවනා වැඩසටහන් වලට සහභාගි වීම , ධර්ම දේශනා වලට සවන්දීම , භාවනා කිරිම, ජාතක කතා පොතට සවන්දීම , දහම් පොත් පත් කියවීම ,පෙරහැර නැරඹිම, බෝධි පුජා පැවැත්වීම, විවේකිව සිටිම, ධර්ම සාකච්ඡා පැවැත්විම,කලාත්මක නිර්මාණවල යෙදිම ආදිය මගින් කායික මානසික සහනය ගොඩ නැගිම නිසා ධාර්මික ප්රිති සුඛය ඇතිකර ගත හැකිය.

කුමක් ද මේ පහ අවුල් විම

පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...